iranama
ශල්‍යකර්මයට සාර්ථකව මුහුණ දීමට ජ්‍යොතිෂය ආධාර කර ගන්න හැටි
අප සෑම දෙනෙකුටම පාහේ ජීවිතයේ කවර හෝ අවස්ථාවකදී එක් වරක් හෝ ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වීමේ ඉඩකඩ ඉතාමත්ම වැඩිය. සමහර දෙනකුට ජීවිත කාලය තුළ අවස්ථා කිහිපයකදීම ශල්‍යකර්මවලට මුහුණ දීමට සිදු විය හැකි අතර කලාතුරකින් අයෙකුට උත්පත්තියේ සිට මරණය දක්වා කිසිදු ශල්‍යකර්මයක් නොකරන්නටද ඉඩ ඇත. මෙම ශල්‍යකර්ම අතරින් සමහර ඒවා සුළු ශල්‍යකර්ම ගණයට ගැනෙන අතර තවත් සමහර ඒවා මහා පරිමාණ ශල්‍යකර්ම ගණයට අයත් වේ. සුළු ශල්‍යකර්මයක් වුවද මහා පරිමාණ ශල්‍යකර්මයක් වුවද ශල්‍යකර්මය සම්පූර්ණ වනතුරුම ශල්‍යකර්මයට ලක් වන්නාට කිසියම් තැතිගැන්වීමක් හෝ බියක් ඇති වීම ස්වභාවිකය. මහා පරිමාණ ශල්‍යකර්ම වන හෘදය සම්බන්ධ ශල්‍යකර්මවලදී මෙන්ම මොළය සම්බන්ධ ශල්‍යකර්ම ඇත. ඒ අනුව ශල්‍යකර්මයක් සුරක්ෂිතව සිදු කිරීම වෙනුවෙන් සහ ඒ හා සම්බන්ධ බිය සහ තැතිගැන්ම අවම කිරීම වෙනුවෙන් ජ්‍යොතිෂය විෂය භාවිත කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමි.
කිසියම් ශල්‍යකර්මයක් සිදු කිරීමට නිවසින් පිටත්ව යද්දී සුබ වේලාවකට පිටත් වීම ශල්‍යකර්මය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජ්‍යොතිෂය ඇසුරින් සිදු කළ හැකි ප්‍රතිකර්මයක් වනු ඇත. මෙහිදී අදාළ තැනැත්තා නිවසින් සුබ වේලාවට පිටත්ව යද්දී ආරෝග්‍යශාලාව තුළදී සෑම අයෙකුගෙන්ම තමන් බලාපොරොත්තු වනවාටත් වඩා සහයෝගය ලැබෙන බවද ශල්‍යකර්මය අතිසාර්ථක ලෙස හා සුරක්ෂිත ලෙස සිදු වන බවද ශල්‍යකර්මයෙන් පසු ජීවිත හානියකින් තොරව නිරෝගි ලෙස සතුටින් ආපසු නිවසට පැමිණිය හැකි බවද චිත්ත රූප මවා නිවසින් පිටත් විය යුතුය. අපගේ අත්දැකීම් අනුව මෙලෙස අති ප්‍රබල නැකතින් නිවසින් මනා සිහියකින් පිටත්ව ගිය විට අදාළ ශල්‍යකර්මය අනිවාර්යයෙන්ම සාර්ථක කර ගත හැකි වනු ඇත. කර්මානුරූප ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම ජීවිත හානියක් සිදු විය යුතු අවස්ථාවකදී පමණක් ඉතා කලාතුරකින් මෙම තත්ත්වය වෙනස් වීමට ඉඩකඩ ඇතද අන් සෑම අවස්ථාවකදීම මෙලෙස සුබනැකතකට මනා සිහියකින් යුතුව පිටත් වීම තුලින් පූර්ණ සුබ ප්‍රතිඵල ලැබෙන බව අප විසින් නිරීක්ෂණය කර ඇත. තවද මීට අමතර ලෙස සුබ නැකතකට ආරෝග්‍යශාලාවට පිටත්ව යාම තුළින් අදාළ පුද්ගලයාට මානසික වශයෙන් ලැබෙන ආත්ම විශ්වාසයද මෙලෙස ශල්‍යකර්මය සාර්ථක වීමට අමතර ශක්තියක් වනු ඇත.
සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට පළමුවරට කන් විදීමේ කටයුත්ත සිදු කිරීමේදී එය සාර්ථක කර ගැනීම වෙනුවෙන් බොහෝ දෙනකු අදාළ නැකත් පිළියෙල කර ගන්නා බව පෙනේ. මෙහිදී අදාළ නැකත් වේලාව සඳහා කනෙහි විෂ කලාව නොපවතින දිනයක් තෝරා ගත යුතු අතර හැකි සෑම විටම කනෙහි අමෘත කලාව පවතින දිනයක් නැකැත් දිනය ලෙස තෝරා ගැනීමට උත්සාහ කළ යුතුය. මෙම සිද්ධාන්තය කන් විදීම සඳහා පමණක් නොව සිරුරෙහි ඕනෑම ඉන්ද්‍රියකට අදාළ ශල්‍යකර්මයක් සිදු කිරීමේදී භාවිතා කළ හැකි බව මගේ අදහසයි. සැබැවින්ම නවීන තාක්ෂණය අතින් දියුණු වර්තමානයේදී පවා පෞද්ගලික රෝහලකින් වුවද ශල්‍යකර්මයක් කිරීමට අදාළ වේලාව තීරණය කිරීම සඳහා රෝගියාට ලැබෙන අවස්ථාව අවම මට්ටමක පවතියි. අප මෙම ලිපියෙහි කලින් සඳහන් කළ පරිදි ජ්‍යොතිෂය ඇසුරින් ශල්‍යකර්මය සිදු කිරීමට අවශ්‍ය වේලාව සුබ වේලාවක් ලෙස ලබා දෙනවා වෙනුවට සිදු කරන ලද්දේ සියල්ල සතුටුදායක ලෙසින් සිදු වන ආකාරයට නිවසින් පිටත්ව යාම සඳහා සුබ වේලාවක් ලබා දීමය. එනම් ශල්‍යකර්මය සිදු කිරීමට අදාළව වේලාවක් හෝ කාල ප්‍රාන්තරයක් ලබාදීම ප්‍රායෝගික නැත. නමුත් රජයේ රෝහලකදී කෙසේ වුවද පෞද්ගලික රෝහලකදී නම් ශල්‍යකර්මය සිදු කිරීමට අවශ්‍ය දිනය තීරණය කිරීම සඳහා අවස්ථාව රෝගියාට යම්තාක් දුරකට හෝ ලැබෙන බව මම සිතමි. එමෙන්ම පෙර සඳහන් කළ සුබ වේලාවකට නිවසින් පිටත්ව යාමේදී නම් එම නිවසින් පිටත් වූ දිනයේදීම ශල්‍යකර්මය සිදු කිරීම අත්‍යවශ්‍ය නොවන අතර ඊට දින කිහිපයකට පසු ශල්‍යකර්මය සිදු කළද ගැටලුවක් නැත. නමුත් අදාළ ශල්‍යකර්මය සිදු කිරීම සඳහා අදාළ ඉන්ද්‍රියයන්ට විෂ කලාව නොපවතින දිනයක් සහ හැකි සෑම විටම අමෘත කලාව පවතින දිනයක් තෝරා ශල්‍යකර්මය සිදු කරන දිනය තීරණය කිරීමට රෝගියාට අවස්ථාව ලැබිය යුතුය. යම් දිනයකට අදාළව විෂ කලාව පවතින ශරීර ඉන්ද්රිය කුමක්ද යන්න පිළිබඳව සහ අමෘත කලාව පවතින ශරීර ඉන්ද්රිය කුමක්ද යන්න පිළිබඳව දැන ගත හැක්කේ ඒ ඒ දිනයට අදාළ පුර පක්ෂයේ හෝ අව පක්ෂයේ තිථිය කුමක්ද යන්න මගිනි. සැබවින්ම එක් එක් දිනයෙහි පුර පක්ෂයක් පවතීද යන්න පිළිබඳව සහ අව පක්ෂයත් පවතීද යන්න පිළිබඳව ද එක් එක් දිනයෙහි එක් එක් වෙලාවට අදාළ තිථිය හෝ තිථි පිළිබඳවද පංචාංග ග්‍රහස්ඵුට ලිතකින් ඉතා පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත. ඒ අනුව එක් එක් දිනයෙහි එක් එක් වේලාවට අදාළ පුර පක්ෂයේ හෝ අව පක්ෂයේ තිථියට හෝ තිථිවලට ඇනුරූපව විෂකලාව පවතින ඉන්ද්රිය කුමක්ද යන්න පිළිබඳව ද පංචාංග ග්‍රහස්ඵුට ලිතකින් ඉතා පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත. ඒ අනුව යම් අයකු ශල්‍යකර්මය සිදු කරන දිනය තෝරා ගැනීමේදී තමන් ශල්‍යකර්මය සිදු කිරීමට අදාළ ශාරීරික ඉන්ද්‍රියයන්ට විෂ කලාව පවතින දින අනිවාර්යයෙන්ම ඉවත් කළ හැකි අතර අමෘත කලාව පවතින දිනයක් තෝරා ගැනීමට හැකි සෑම විටම උත්සාහ කළ යුතුය. උදාහරණ ලෙස 2016 වසරෙහි අගෝස්තු 17 වනදා ප.ව. 4.24 වන තෙක් පුර පක්ෂයේ 14 වන තිථිය පවතින නිසා අගෝස්තු 17 වන දින ප.ව. 4.24 දක්වා පුරුෂ පක්ෂයට අදාළව වම් ඇසෙහි විෂ කලාව පවතින බැවින් වම් ඇසෙහි ශල්‍යකර්මවලට එම දිනය යොදා ගැනීම නුසුදුසුය යන්න දැක්විය හැකිය.
මීට අමතර ලෙස ශල්‍යකර්මයක් සිදු කිරීමට අදාළ සුබ නැකත් දිනයක් තීරණය කිරීමේදී රෝගියාගේ උපන් නැකතට සහසම්බන්ධ නැකත් යෙදෙන දිනවලට අදාළ වේලාවන් ඉවත් කළ යුතුය. සෑම උපන් නැකතකටම අදාළව එම නැකත සහ තවත් සහසම්බන්ධිත නැකත් 2ක් ඇති අතර ඒවාද පංචාංග ග්‍රහස්ඵුට ලිතකින් ඉතා පහසුවෙන් සොයා ගත හැකිය. කෙසේ වෙතත් අප විසින් මෙම ලිපිය තුළිින් පවසන අදහස් ප්‍රායෝගිකව සිදුවීම දහස් ගණනක් ඇසුරින් තවදුරටත් ප්‍රායෝගිකව ඔප්පු විය යුතුව තිබේ.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks